ඇබ්බැහිකම්
ඊයේ සිට මත්පැන් සහ සිගරට් වල මිල නැවත වැඩිවී ඇත. සමහරු කියන්නේ මෙම භාන්ඩ වල පරිබෝජනය අඩු කරන්නට රජය විසින් මෙම පියවර ගෙන ඇති බවයි. තවත් සමහරු “අනේ හොඳයි! ඔය අරක්කු සිගරට් නම් තව තවත් වැඩි කරන්න ඕන” යනුවෙන් පවසති. ඇත්තටම මෙම භාන්ඩ වල මිල ඉහල දැමීමෙන් ජනතාවගේ පරිබෝජනය අඩුවේද? මගේ අදහස නම් එය එසේ සිදු නොවන බවයි. රජය විසින් මෙම භාන්ඩ වල මිල ඉහල දමා ඇත්තේ රජයේ ආදායම වැඩිකර ගන්නට මිස අනෙකකට නොවේ.
සිගරට් සහ මත්පැන් වල මිල ඉහල දැමීමෙන් සිදුවන්නේ එයට ඇබ්බැහිව සිටින්නා විසින් වැඩි මිලට වුවද තවදුරටත් ස්වකීය නරක පුරුද්ද පවත්වාගෙන යෑමයි. මෙහිදී ඔහු විසින් සිය ඇබ්බැහිකම උදෙසා පාවිච්චි කරන්නේ පවුලේ ආදායම බව අප මතක තබා ගතයුතු කරුණකි. යම් කෙනෙකු තමන් පවුලේ මුලිකයා සහ ආදායම් ලබන්නා නම් ඔහු විසින් ලබන ආදායම පවුලේ ආදායමයි. ඔහු විසින් එම ආදායමෙන් කිසියම් කොටසක් ස්වකීය ආත්මාර්ථයේ අවශ්යතාවයකට යොදවන්නේ නම් එම මුදල පවුලේ ආදායමට අහිමිවේ. එවිට පවුලේ අවශ්යතාවයන් සහ දෛනික කටයුතු වලට ලැබෙන මුදලෙහි කිසියම් අඩුවීමක් සිදුවේ. සාමාන්‍ය දුප්පත් පවුලකට මෙය දරා ගත නොහැක. විශේෂයෙන් බඩුමිල ඉතාමත් අධික තත්වයක් තුල මෙය දරා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තකි.
මෙනයින් බලන කල මත්පැන් සහ සිගරට් වල මිල ඉහල දැමීමෙන් වඩාත් අගතියට පත්වන්නේ එයට ඇබ්බැහිව සිටින්නා නොව ඔහුගෙන් යැපෙන්නන්ය. මෙමගින් භාර්යාව සහ දරුවන් කිසිදු දේකට ඇබ්බැහිව නොසිටින තත්වයක් තුල ඔවුන් පමණක් පීඩාවට පත් කරවීම සාධාරණද? යන්න අප සිතා බැලිය යුතුය. නමුත් අපේ රටේ සිදුවන්නේ මෙයයි. පවත්නා රජයන් විසින් මේ බැව් දැන දැනත් ඒ පිළිබඳව කිසිවක් නොකර මත්පැන් සහ සිගරට් වල මිල ඉහල දමමින් කරන්නේ රටේ සමාජ තත්වය තව තවත් වලපල්ලට ඇද දැමීමකි.
ධර්මද්වීපයේ අහිංසකයන්ගේ ඉරණම මෙයයි.
No comments:
Post a Comment